Monday, November 26, 2012

මෙහෙම හිතන අය අත උස්සන්න බලන්න....

click to view larger image


එදාටත් වඩා අද සමාජෙට වටින මේ වගේ සිංදු දැන් වැරදිලාවත් ඇහෙන්නෙ නැත්තෙ ඇයි කියලා මට නම් තේරෙන්නෙ නෑ :( සමහරවිට මේ අබුද්දස්ස කාලෙ නිසා වෙන්න ඇති. එහෙම නැත්තන් මාධ්‍ය ආයතන වල ලොක්කො උපතින් ම බයිලා කාරයො ද? O.o

මට හදිසියෙම මේ සින්දුව මතක් උනේ එක දවසක් අපි ගිය ටියුෂන් පංතියකදි දැකපු සිද්ධියක් නිසා.
අපේ පංතියට එහා පංතියේ තිබ්බේ ශිෂ්‍යත්ව පංතියක්. ශිෂ්‍යත්ව පංතියක් කිව්වට 3 වසරෙ ළමයි පහේ ශිෂ්‍යත්‍ව විභාගෙට සූදානම් කරවන පංතියක්. :P

එක දවසක් දවල් 11ට විතර ඒ පංතියෙ අම්මලා දෙන්නෙක්ගෙ ලොකු කලබලයක්... කෑ ගහනවා, අඩි හප්පනවා, එක විකාරයයි! ඒ වෙද්දි 3 වසරෙ ළමයි ඉස්කෝලෙ ඇරිලා ඇවිත් හිටියෙ නැති නිසා අපිට ඒ කතාබහ හොදටම ඇහුණා. [නැතුව අපි වැඩ ඔක්කොම නවත්තලා අහං හිටියා එහෙම නෙවෙයි ;)]



බැලුවහම ඒ පොරකාලා තියන්නෙ පන්තියෙ පළවෙනි පේලියට...
ඉස්කෝලෙ ඇරිලා ළමයි එන්න කලින් අම්මලා ඇවිත් පළවෙනි පේලිය book කරලා යන්න. ඒ මදිවට ඒකට රණ්ඩුත් වෙනවා. තමන්ගෙ ළමයා පළවෙනියා කරනවා වගේම තවත් ළමයෙක් පස්සට තල්ලු කරන එකෙනුත් පොඩි තෘප්තියක් ලබනවා ඇති.

මේ වගේ විහිලු දිහා බල බල හැදෙන ළමයි ලොකු උණහම මොනවගේ වෙයිද?????

තමන්ගේ යාළුවෙක්ගෙ දියුණුව දිහා බලලා සතුටු වෙන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවද! ගණන් බලන්න ක්‍රමයක් තියෙනවා නම් සීයෙට බර ගානක් ඉදියි. තමන් ගැනම හිතන්න පුරුදු නොවී අපේකම රැකගත්තනම් ජාතියක් විදිහට උනත් අපි මී‍ට වඩා ඉදිරියෙන් ඉන්නවා. හැබැයි ඒක ජාතික ප්‍රතිපත්ති වලින් නම් කරන්න බැරිවෙයි. යමක් කමක් තේරෙන කාලෙ ඉදන් ම සහජීවනය කියන දේ හුරු කරවන්න පුළුවන්නම්......

නෝක්කාඩුම කියපු නිසා හොද දේකුත් කියන්නම්කෝ....
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත කියනවානේ
මනු ලෝ තලයේ වාසනාවට පහල වෙච්ච ඒ වගේ අයත් අපිට හිටිගමන් හම්බෙනවා.

දෙපාරක් නොහිතා, ලාබ පාඩු නොතකා, ඕනිම උදව්වක් කරන අඹ යාළුවොන්ට - තමන් බඩගින්නෙ හිටියත්, කෑම පැකට් එක දුප්පත් ළමයෙක්ට දෙන දුෂ්කර පාසල් වල දිසාපාමොක් ගුරුවරුන්ට - ඇත්ත බේත් විතරක් දෙන, PP නොකරන, දුප්පතුන්ට පිහිට වෙන ජීවක වෛද්‍යවරුන්ට - ඕනිම ළමයෙක් දැක්කම තමන්ගෙ දරුවො මතක් වෙලා හිත උණු වෙන ආදරණීය මවු වරුන්ට - කොටින්ම කිව්වොත් තමන්ට වාසියක්  බලාපොරොත්තු නොවී තවත් කෙනෙක් වෙනුවෙන් වචනෙකින් හරි හොදක් කරපු, හිතින් හරි හොදක් පතපු, ලෝකය ලස්සන වෙන්න හේතු වෙන විදිහෙ ලස්සන හදවත් තියෙන හැම කෙනෙක්ටම සිහින ලොවේ ප්‍රණාමය!

4 comments:

අදහස් දක්වන්න කාලය වෙන්කලාට ‍බොහොම ස්තූතියි! :)